රතු හැට්ටෙ හැමදාම
වැටුණු සියුමැලි ගතට..
දේදුන්නෙ සිත්තමෙන්
සිහින මැවු සිත් පොඩිය..
‘‘රතුහැට්ටකාරියක‘‘
ලෙසට හංවඩු ගැසුව..
නැගණියේ නුඹ නොදත්
මරු වැලින් පිරි වනය..
වෘකයන්, යක්ෂයින්
ඉන්නවා දස අතම..
වැටි වැටී නැගිටිනා
දා පටන් තුරුළු කොට..
කියා දුන්නා නුඹට
මව් අපේ නොවන වග..
ගියෙත් මා නුඹ හන්දා
රතු කමිසෙ ඇගලාන..
වඩා යහපත් හෙටක
අස්වැන්න පූදන්න..
ගියෙ කිමද ඇය බසට
අවනතව මා නැතිව..
දොළ පිදේනිය අරන්
වෘකයෙකු ළගකටම..
රතු හැට්ටෙ කීතු කර
ගලා ගිය ලේ දහර..
උරා ගත්තලු නේද
රතු හැට්ටෙ කළු වෙන්න..
හදවතේ බුබුරනා
වෛරයෙන් පුච්චන්න..
හැකි නමුදු වස්තුවේ
වරද කාගෙද කොතැන..
පැළ කරමු ස්නේහයන්
රතු මල්ම පූදින්න..
පෙම් කරමු මගෙ නැගණි
තව උන්ට අපි වැනිම..
අල්ලපන් මගේ අත
තද කරන් සිත දැඩින..
ආ මෙන්න ‘‘රතු කමිසෙ‘‘
මගේ පණ මෙන් රැක්ක..
(රතු හැට්ටකාරිගෙ අයියා විසිනි)

No comments:
Post a Comment