Tuesday, November 4, 2014

කෙසේ නම් අදහම් ද රාත්‍රිය රුදුරු වග....


සද දියර හෙමි හෙමින් මිහිලියගෙ මුව සිඹින
මුදු පවන රහසේම තුරුලියට ගතු කියන
පිනි බරින් සැලි සැලී කඩුපුලක ඇහැ ඇරෙන
මතක බිහිදොර ඇරී පන්හිදට පණ පෙවෙන

වලාකුළු වියන් යට හන්තාන නිදි වරන
රැළි ලමින් දගපාන ගග දියට තනි රකින
පඩුපතක මළ ගමට ලපළු සෝ ගී ගයන
සරතැසට වට වැස්ස වගේ සිසිලස ගෙනෙන

හිරු එබෙයි එළඹ ඇත සද මියෙන හෝරාව
ගොම්මනේ හෙට එන්න නැවුම් පදරුත් රැගෙන
ගොළුවතින් කවි කතා මසිත් මළුවේ විසුල
කෙසේ නම් අදහම් ද රාත්‍රිය රුදුරු වග

No comments:

Post a Comment